ඔබ කවුරුත් දන්නවා ඇති google සමාගම යනු Gmail, Google maps, Google street View, Youtube ආදී ඉතා වටිනා සේවාවන් රාශියක් පවත්වාගෙන යන ආයතනයක් බව. මොවුන් වසරක් තුල නව සේවාවන්  රැසක් හදුන්වා දෙනවා සේම මොවුන්ගේ පවතින සේවා රැසක් නවත්වා දැමීමද සිදු කරනු ලබනවා. මේ ආකාරයෙන් සේවාවන් නැවත්වීම බොහෝ පරිශීලකයන්ගේ අප්‍රසාදයට හේතු වුවත් ඔවුන් සෑම වසරකම මෙලෙස සේවාවන් සැලකිය යුතු ප්‍රමාණයක් නැවැත්වීම අඛණ්ඩව සිදු කරමින් තිබෙනවා. මේ වන විට මොවුන් ආරම්භ කරන ලද සේවාවන් 242ක් මුලුමනින්ම නවත්වාදමා තිබෙන අතර ඉදිරි වසරේදීත් නවත්වා දැමීමට අදාල සේවාවන් 3ක් මේ වන විටත් ගූගල් සුසානයට නම් කර අවසානයි.


 

Google සමාගම මෙම වසරේදී මෙලෙස නවත්වා දමන ලද සේවාවන් 25ක් වාර්තා වෙනවා. එම සේවාවන් වසරේ මුල් කාලයේ සිට පිලිවලින් ගත් කල,

 

 

 

1.App Maker

මෙය 2021 වසරේ ප්‍රථමයෙන්ම නවත්වන app එක ලෙස හදුන්වා දෙන්න පුලුවන්. මෙය ජනවාරි මස 21 වන දින සම්පූර්ණයෙන්ම නවත්වා දමන අතර 2016 දී ආරම්භ කරන ලද සේවාවකි. මෙය ව්‍යාපාරික අවශ්‍යතා සදහා coding දැනුමක් නොමැතිව වුවද temple භාවිතයෙන් Apps නිර්මාණය සදහා ඉඩ ලබා දුන් මෘදුකාංගයක් වේ.

 

2.Loon

මෙයද 2021 වසරේ ජනවාරි මස නවත්වා දමන ලද ව්‍යාපෘතියක් වන අතර මෙය 2013 වසරේදී මෙය ලොව පුරා ග්‍රාමීය, අඩු පහසුකම් සහිත ප්‍රදේශ වලට අන්‍තර්ජාල පහසුකම් සැපයීම අරමුණු කරගෙන ආරම්භ කරන ලද ව්‍යාපෘතියකි. Google සමාගමට මෙහි පිරිවැය දැරීමට නොහැකි වීම මෙය නැවැත්වීමට ප්‍රධාන හේතුවයි.

 

3.Tilt Brush

මෙය 2021 වසරේ පෙබරවාරි මස නවත්වා දමන ලද අතර මෙය 2016 වසරේ හඳුන්වා දී තිබේ. මෙය Google මගින් ලබාදුන් VR Application එකක් වන අතර මේ මගින් කාමර අවකාශයක් තුළ Virtual Canvas එකක් මත 3D නිර්මාණයන් කිරීමේ අවස්ථාව සලසා දෙනු ලැබේ.

 

4.Swift For TensorFlow

මෙය 2018 වසරේ ආරම්භ කරන ලද අතර 2021 වසරේ පෙබරවාරි මස නවත්වා දමා ඇත. මෙය Apple හි Programming Language වන Swift හා Python මත එක්ව ගොඩනගා ඇත. මෙය machine learning application නිර්මාණයට ඉතා පහසුවෙන් යොදා ගත හැකිය.

 

5.Google Cardboard

මෙය 2014 වසරේදී හදුන්වා දී ඇති අතර මේ වසරේ මාර්තු මස ඔවුන් නිශ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා ඇති උපාංගයකි. මේ වන විට VR Box, 3D නිශ්පාදන ආදිය ඉතා දියුණු මට්ටමක පැවතියත් 2014 වසරේ මෙය හදුන්වා දීම VR box සදහා නැඹුරු වීමට ප්‍රධාන හේතුවකි. මෙය ඝනකම් කාඩ්බෝඩ් සහ කාච සවිකිරීමෙන් සකසා ඇති අඩු වියදම් නිශ්පාදනයක් ලෙස වෙලදපොලට ඉදිරිපත් විය.

 

6.Google Go Links

ඉතා පැරණිම සේවාවක් වන අතර 2010 වසරේදී ආරම්භ කර තිබේ. මේ වසරේ මාර්තු මස 31 වන දින මෙය අත්හිටුවන විට විශාල ලෙස පාවිච්චි නොකරන ලද සේවාවකි, එනම් මෙය මීට පෙර දී භාවිතයෙන් අත්හැර දමා ඇති සේවාවක් ලෙස හැඳින්විය හැකිය නමුත් මෙය නිල වශයෙන් අත්හිටුවීම සිදු වූයේ 2021හි මාර්තු මස 31 වනදාය. මෙය URL කෙටි කිරීම සඳහා භාවිතා කර ඇති අතර Google workspace හි Custom domain names ලබා දීම සදහාද මෙය භාවිතා වී තිබේ. 

 

7.Google Public Alerts 

මෙම සේවාව 2012 වසරේ දී ආරම්භ කර ඇති අතර 2021 වසරේ මාර්තු 31 වැනිදායින් නිල වශයෙන් අත්හිටවනු ලැබීය. මේ මගින් රටක හදිසි කාලගුණය තත්ව, ආරක්ෂක උපදෙස් වැනි ඕනෑම හදිසි අවස්ථාවක එම රටේ ජනගහනයට අනතුරු ඇගවීම් සිදු කරනු ලබා ඇත. මෙම සේවාව වෙන්ව ක්‍රියාත්මක වීම නිල වශයෙන් අත්හිටවූ වත් google maps සහ google search engine මගින් එම අදාල අනතුරු ඇගවීම් හා පණිවිඩ ලබාදීම් ඉදිරියේදී සිදු කරණු ලබයි.

 

8.Google Crisis Map

මෙයද ඉහත පබ්ලික් ඇලර්ට් සේවාව සේම සේවාවක් වන අතර මෙය 2011 වසරේදී ආරම්භ කර ඇත. මෙය මගිනුත් කාලගුණික විපර්යාස ආදී දේ පිළිබඳව සිතියම් නිර්මාණය කිරීමට උපකාරී වූ අතර මෙම සේවාව අත්හිටුවීමෙන් පසු Google my maps, Google Earth යන සේවාවන් මගින් මෙම කාර්යන් ඉටු කරණු ලබයි.

 

9.Google Shopping Mobile App

මෙය 2019 වසරේ ආරම්භ වූ App එකක් වන අතර 2021 වසරේ අප්‍රේල් මාසයේදී අත්හිට වූ එකම සේවාව වේ. මෙය නිල වශයෙන් අත්හිටුවා ඇති බව දැක්වුවත් google හි Shopping website යටතේ මෙහි ක්‍රියාකාරීත්වයට සමාන ක්‍රියාකාරීත්වයක් තවමත් පවතී.

 

 10.Timely

google සමාගම විසින් 2013 වසරේදී ආරම්භ කළ සේවාවක් වන අතර මෙය Android application එකක් ලෙස ක්‍රියාත්මක විය. මෙය මගින් Alarm තැබීමට අවස්ථාව සැපයීම, Stopwatch පහසුකම, Timer පහසුකම ලබාදුණි. කෙසේ නමුත් මෙය 2021 වසරේ මැයි 31 වැනිදායින් අත්හිටවනු ලැබීය.

 

11.‍Zync Render 

මෙය google සමාගම විසින් විසින් 2014 වසරේ දී පටන් ගත් සේවාවක් වන අතර animation සහ visual effect සිදු කිරීම සඳහා භාවිතා විය. මෙය මගින් American hustle, Transformers : Dark Side of the moon ආදී ඉහළ පෙලේ චිත්‍රපටි සදහා මෙම සේවාව භාවිතා විය. කෙසේ නමුත් google සමාගම 2021 වසරේදී ජුනි 1 වෙනිදා මෙම සේවාව අත්හිටුවණ ලදී.


12.Measure

මෙම මෘදුකාංගය 2016 වසරේදී google සමාගම විසින් හඳුන්වා දුන් මෘදුකාංගයක් වන අතර මගින් ජංගම දුරකථනයේ කැමරාව ආධාරයෙන් වස්තූන්ගේ තිරස් මිනුම් සාපේක්ෂව නිරවද්‍ය ලෙස ලබාගැනීමට අවස්ථාව සලසා දුනි. පසු කාලීනව මෙය Updates මගින් සිරස් මිනුම් ලබා ගැනීම සඳහා භාවිතා කිරීමේ හැකියාව ලැබුණි. කෙසේ නමුත් මෙය 2021 වසරේ ජුනි 8 වනදායින් අත්හිටවනු ලැබීය.


13.Google Play Movies & TV

මේ ගූගල් සමාගමේ ඉතා පැරණි සේවාවක් වන අතර 2011 වසරේ දී මෙය ආරම්භ විය. මේ මගින් රූපවාහිනී කතාමාලා සහ Films මිලදී ගැනීමට අවස්ථාව සැලසුණි. පසුකාලීනව මෙය Google TV ලෙස වෙනස් විය. කෙසේ වෙතත් මෙය Youtube සේවාව සමග ඒකාබද්ධ කරමින් වසර 10කට පසුව 2021 වසරේ ජුනි 15 වනදා නවත්වා දමන ලදී.

 

14.Poly

Google සමාගම විසින් 2017 වසරේ දී හඳුන්වාදුන් සේවාවක් වන අතර මෙය 3D නිර්මාණකරුවන්ට ඔවුන්ගේ 3D නිර්මාණ බෙදා ගැනීමට Platform එකක් ලෙස ක්‍රියා කරන ලදී. මෙය වඩාත් ප්‍රචලිත මෘදුකාංගයක් නොවූ අතර 2021 වසරේ ජුනි 30 වන දින මෙම සේවාව නවතා දමන ලදී.

 

15.Expedition

Expedition යනු ගූගල් සමාගම විසින් 2015 වසරේ දී ලබාදුන් සේවාවක් වන අතර මෙය පෙරදී සඳහන් කළ Google Cardboard මගින් අධ්‍යාපන ආයතන වල පන්ති කාමර තුළ දී සිසුන්ට VR තාක්ෂණය මගින් ක්ෂේත්‍ර චාරිකා යෑමට ඉඩ සලසාදුන් සේවාවකි. මෙය 2021 වසරේ ජුනි 30 වන දින ගූගල් සොහොන් බිමට එක් විය.

 

16.Tour Creator 

2018 වසරේදී ආරම්භ කළ මෙම සේවාව Expedition සේවාවට සමගාමීව ක්‍රියාත්මක වූ සේවාවක් වන අතර මගින් පරිශීලකයන්ට 360° දර්ශන කෝණයක් මගින් VR උපාංග යටතේ නිරීක්ෂණය කිරීමේ හැකියාව ලබාදුණි. මෙම සේවාව 2021 වසරේ ජුනි 30 වනදා නවතා දමන ලදී.

 

17.Tour Builder 

මෙම සේවාව google සමාගම විසින් 2013 වසරේදී ආරම්භ කළ අතර මේ මගින් Google Earth යෙදුම හරහා පින්තූර සහ වීඩියෝ සමග සම්පූර්ණ චාරිකාවක් යෙදීමට අවස්ථාව සලසා දෙන ලදී. කෙසේ නමුත් වසර 8ක් ආයු වළඳා මෙය ගූගල් සොහොන් බිමට එක්වූ අතර google earth යෙදුමෙහි නව Project තුල මෙම පහසුකම් වැඩි දියුණු කර එක්කර තිබේ.

 

18.Fitbit Coach & Fitbit Yoga

පිළිවෙලින් 2013 හා 2014 වසර වලදී ආරම්භ කරන ලද Fitbit Coach හා Fitbit Yoga යන මෘදුකාංග 2 google සමාගම විසින් ආරම්භ කරන ලදී. Fitbit coach යනු පුහුණුවීම් වීඩියෝ මත පදනම්ව ස්වාධීන ශරීර බර පාලනය කිරීම සදහා වූ ව්‍යායාම ඇතුලත් මෘදුකාංගයක් වේ. 

Fitbit Yoga යනු පරිශීලකයන්ට ඇති හැකියාව හා රුචිකත්වය මත පදනම්ව යෝගා ව්‍යායාම සිදු කිරීම සදහා වූ මෘදුකාංගයකි. මෙම මෘදුකාංග දෙකම 2021 වසරේ ජුලි 30 භාවිතය අත් හැර දමන ලදී.

 කෙසේ වෙතත් මෙම මෘදුකාංග දෙකම එක් මෘදුකාංගයක් බවට පත් කරමින් තවදුරටත් වැඩිදියුණු කර Fitbit Premium ලෙස ඉදිරියට පැමිණි අතර එම මෘදුකාංගය තුළ භාවනා මාර්ගඋපදේශන, පෝෂණ සැලසුම් ආදී දේද ඇතුලත් කර වැඩිදියුනු කර ඇත.


19.Chatbase

2017 වසරේදී ආරම්භ කරන ලද මෙම සේවාව Googel හි Dialogflow Chatbot සඳහා භාවිත වූ සේවාවක් වන අතර google හි සහයක සමාගමක් වන Area120 Incubator විසින් ආරම්භ වී ඇත. කෙසේ නමුත් මෙය 2021 වසරේ සැප්තැම්බර් මස 27 වන දින අර්ධ වශයෙන් නවතාදමන ලදී. මක්නිසාදයත්, මෙම Chatbase, Dialogfow සමග අර්ධ වශයෙන් ඒකාබද්ධ කර ඇති නිසාවෙනි.

 

20.Google Bookmark

මෙය ඉතාමත් පැරණි සේවාවක් වන අතර 2005 වර්ෂයේදී ආරම්භ වී ඇත. මේ මගින් පෞද්ගලික වෙබ් පිටුවල Bookmark තැබීමේ පහසුකම සැලසූ අතර වෙනත් කිසිදු ගූගල් පහසුකමක් සමග සම්බන්දතාවක් නොදක්වා මෙය ක්‍රියාත්මක වුනි. මේ වසරේ සැප්තැම්බර් මස 30 මෙය අභාවයට යවා මේ වෙනුවට නව හදුන්වාදීමක් ලෙස සේවා සියල්ලෙහිම Bookmark එක් ස්ථානයකින් නැරබිය හැකි ආකාරයේ පහසුකමක් ලබාදී ඇත. 

 

21.Google My Maps app

2014 වසරේදී ආරම්භ කළ සේවාවක් වන අතර මෙය Google maps සමග සම්බන්ධයක් නොමැත. මෙය Android Application එකක් වන අතර User අදාල ලෙස Custom Maps නිර්මාණය කිරීමේ අවස්ථාව සලසා දී තිබේ. මෙහි Andorid මෘදුකාංගය ඉවත් වුවද වෙබ් සේවාව දීර්ඝ කාලින ලෙස ක්‍රියාත්මක වේ. මෙහි Android මෘදුකාංගය 2021 වසරේ ඔක්තෝබර් 15 දින නවතා දමන ලදී.

 

22.Google Toolbar

මෙම වසරේ දී ගූගල් සුසාන භූමියට පැරණිතම සාමාජිකයා වන්නේ google toolbar . මෙය 2000 වසරේ දී හඳුන්වා දී ඇත. මෙය ප්‍රදාන වශයෙන් සෙවුම් යන්ත්‍රයක් ලෙස ක්‍රියා කරන ලද අතර මේ මගින් Pop Up blocker, Built-in google translate support වැනි පහසුකම් රැසක් සැපයුවේය. මෙය එකල වැඩිම පහසුකම් ප්‍රමාණයක් සැලසූ Search Engine එකක් වේ.

 

23.Museletter

ගූගල් සමාගම පවත්වාගෙන ගිය කෙටිකාලීනම සේවාව මෙය ලෙස දැක්විය හැකිය. මෙය පර්යේෂණාත්මක සේවාවක් ලෙස ආරම්භ කල අතර එය Application එකක් ලෙස ඉදිරිපත් වීමටත් පෙර භාවිතයෙන් ඉවත්ව ගියේය. මෙම සේවාව සදහා භාවිතා කිරීමට කැමති පුද්ගලයන්ගේ ලේඛණයක්ද ආරම්භ කරන ලද අතර එය ලේඛණයකට පමණක්ම සීමා කිරීමට සිදු වුණි.

 

24.Angular JS

2010 වසරේ ආරම්භ කර මෙම සේවාව මේ වසරේ ගූගල් සුසානයේ සැතපෙන අවසාන සේවාවයි. මෙම සේවාව ලොව පුරා Developers ලා විසින් භාවිතා කර Open source softwear එකක් ලෙස දැක්විය හැකිය. 2021 වසරේ දෙසැම්බර් 31 වනදායින් මෙම සේවාවද අත් හිටුවා දැමීමට Google සමාගම තීරණයකර තිබේ.



ගූගල් සුසානය පහත ලින්ක් එක මගින් පිවිසීමෙන් බලාගත හැකිය.

https://killedbygoogle.com/